රතනතිස්ස සාම පදනම

ශ්‍රී වාපිකාරාමය - පාළුකඩවල - ගල්ගමුව - ශ්‍රී ලංකාව

රතනතිස්ස සාම පදනම හැඳින්වීම

රතන තිස්ස සාම පදනම ආරම්භ කර ඇති පාලූකඩවල ශ‍්‍රී වාපිකාරාමය නාකොලගනේ රජමහා විහාරස්ථානය මඟින් පාලනය වන ස්ථානයකි.

සොලී ආක‍්‍රමණයන්ගෙන් ලංකා රාජ්‍ය බේරාගත් වලගම්බා මහ රජතුමා විසින් කරවන ලද දේවගිරිය නාකොලගනේ (නාගල), වෙහෙරගල ආදී ලෙන් විහාර රාශියක් මෙම ප‍්‍රදේශයේ දක්නට ඇත. එමෙන්ම මෙතුමා විසින් කරවන ලද හා වාපි කර්මාන්තයක් වන අබකොලවැව (අබාකලවැව) වර්තමානයේ ද කෘෂිකාර්මික සංවර්ධනය සඳහා මහත් පිටුවහලක් වී ඇත. සීතාවක යුගයේ බුවනෙකා රජතුමා විසින්, තලවැලකින් ඇතකු අල්ලා දීම නිසා එරියාවේ රංගේ බංඩාර නිලමේ වරයෙකුට එරියාව,අතරගල්ල යන ගම් නින්දගම් වශයෙන් පවරා දී ඇති බව පොත පතේ සඳහන්ව ඇත.

අපේ ජන සමාජයේ කසාවතට හිමි වන්නේ අසීමිත බුහුමනකි. පිළිගැනීමකි. ඒ කසාවත දරා සිටින හිමිවරුන්ගෙන් රටට, සමයට, සමාජයට, සමාජයේ තැලෙන, පෑගෙන දනන්ට සිදුවන සේවය වැඩි වෙත්ම ඒ පිළිගැනීම, ගෞරවය තවත් වැඩිවෙයි. සතර පේරුවේ දායක - දායිකාවන්ගෙන් ලැබෙන කටුසර දානයෙන් සැනසීමට පත්ව, බණට දානයකට වැඩම කොට ලැබෙන පිරිකර පවා දිළිඳු දනන්ගේ ජීවිත ජීවිත්කරවීමට යොදවන, එවැනි මිනිසුන්ගේ දුවා දරුවන්ගේ නෙත් පෑදීමට යොදවන හිමිවරු අපේ ඈත ගම්දනව්වල වැඩ වෙසෙති. ගල්ගමුව, පාළුකඩවල ශ්‍රී වාපිකාරාමයේ වැඩ වසන එරියාවේ රතනතිස්ස හිමියන් ද එවැනි බුද්ධ පුත්‍රයෙකි.

එවකට භික්ෂූන්ගෙන් තොරව ජරාජීර්ණව, බිඳවැටී පැවති පාළුකඩවල ශ්‍රී වාපිකාරාම විහාරස්ථානය වැඩි දියණු කිරීමේ වගකීම භාරගත් අප හිමිපාණෝ ඉතාමත් කෙටි කලකින් ප්‍රදේශයේ දියුණු පූජ්‍ය ස්ථානයක් බවට වාපිකාරාම විහාරස්ථානය ගොඩනගා ශාසනික හා සමාජ මෙහෙවර පුළුල්ව ක්‍රියාත්මක කිරීමට 2009 වර්ශයේදී රතන තිස්ස සාම පදනම" ආරම්භ කළහ